ගුරු දිවිය

ගුරුවරයකු ලෙස අහුබුදුවන් මුල් ම පත් වීම ලදුයේ අහංගම ශාරිපුත්‍ර විදුහලට යි. 1937 සිට 1939 තෙක් එහි සේවාවෙහි යෙදුණු ඔහු (නිට්ටඹුයේ ගුරු ඇබෑසියෙන් පසු ව) 1942 දී කීඹියේ රජයේ පාසලේ වසරක් සේවායෙහි යෙදී 1943 දී කටුගස්තොට දීගල විදුහලට පත් ව ගිය හ. ඉක්බිති 1944 දී වැල්ලේතොට පාසලේ ද 1945 දී නුවරඑළියේ හේළි තියා (හෝලි ට්රිනිටි) විදුහලේ ද ගුරු සේවාවෙහි යෙදුණු අහුබුදුවෝ 1946-1951 තෙක් ගාල්ලේ මිහිඳු (මහින්ද) විදුහලේ සේවාවෙහි යෙදුණ හ. ගුරුවරයකු ලෙස ඔවුන් ගෙන් ඉහළතම මෙහෙය ලැබුණේ ගල්කිස්සේ සාන්ත තොමොසු (සාන්ත තෝමස්) විදුහලට යි. 1951 සිට 1979 තෙක් අට විසි වසරක් අහුබුදුවන් ගේ මෙහෙය එ විදුහලට ලැබිණ.

ගුරු දිවියෙන් සමු ගත් අහුබුදුවෝ 1979 සිට 1985 තෙක් සිංහළ ශබ්ද කෝෂ කාර්යාලයයේ සකසු තනතුරක් දැරූ හ. ඉනික්බිති 1985-1989 තෙක් අගමැති කාර්යාලයයේ උපදේශකවරයකු ලෙස ද එ තන් සිට 1994 තෙක් ජනාධිපති භාෂා උපදේශක ලෙස ද අනැඟි මෙහෙයක් ඉටු කළ ඔහු අද සිය ඉසුඹු දිවිය මුළුමනින් ම බස - රැස - දෙස සේවාවට කැප කොට සිටිති.