ළමා දිවිය

දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයෝ 1920 මාරතු 18 වන දා කොග්ගල මලළගම දී උපත ලද හ. ඔවුන් ගේ පියාණෝ තොරෝනිස් දේවමනිමේන්ද්‍ර නම් වූහ. මෑණියෝ ලයිසොහාමි වතුගෙදර නම් වූ හ. සිය මුත්තණුවන් වූ සලමන් වතුගෙදර මහතාණන් ඇසුරෙහි ගෙවූ දිවිය ළමා ආශුබෝධයන් ගේ සිතෙහි සාහිත රස හැඟුම් බිජු වට පැළ කරවන්නට සමත් වී ය. ගැමි උගතකු වූ මුත්තණුවන් වෙතින් ඇසූ කවි, කතා, සිලෝ ආදිය ඔවුන් ගේ පසු කල සාහිත නිමැවුම්වලට බෙහෙවින් පිටු බල සැපැයී ය. මහ ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ගේ ද උපන් ගම වූ කොග්ගල මලළගම එ කල පැවැති ගැමි පරිසරයත් ජන කලා නැඹුරුවත් ළමා ආශුබෝධයන් ගේ රස හැඟුම් පිබිදැවූ තව ද කරුණෙක් විය.

ආශුබෝධයන් ගේ වැඩිමහල් සොහොවුරාණෝ අමරසේන ආශුතෝෂ නම් වෙති. වෙදැදුරු කෙනෙකුන් වන ඔහු බොරලැස්ගමුවේ රත්තණපිටියේ වෙසෙති. ආශුබෝධයනට උපසේන නම් බාල සොහොවුරු කෙනකුන් ද වූ නමුත් ඔහු බාල කල දී ම මිය ගිය හ.